පරිච්ඡේදය 2
මූලික සත්‍යතා • නව ක්‍රිස්තියානීන්

පාපය පිළිබඳ සැබෑ සත්‍යය

සැප්තැම්බර් 15, 2026මිනිත්තු 7ක කියවීමක්

සමහර මිනිසුන් සතුන් වගේ හැසිරෙන්නේ ඇයි ?

මෙයට පිළිතුර වන්නේ – ඔවුන්ට උවමනාව තිඛෙන්නේ තමන්ගේ ශාරීරික අවශ්‍යතා සහ පොළොවේ ඔවුන්ගේ ජීවත්වීම ගැන පමණක් නිසාමය.

සතෙකුට උවමනාව ඇත්තේ කුමක් ගැනද ? කෑම, නිදාගැනීම සහ ලිංගික සතුටය.

මනුෂ්‍යයෙකුට, මෙම කාරණාවල් ගැන පමණක් උවමනාවෙන් සිටිනවානම් එම තැනැත්තා සත්වයෙකුගේ තත්වයට බැස ඇති බව පැවසීමට හැකිය.

නමුත් දෙවියන්වහන්සේ මනුෂ්‍යයා මවා තිඛෙන්නේ සත්වයෙකු මෙන් සිටීමට නොව, උන්වහන්සේ අපව මවා තිඛෙන්නේ උන්වහන්සේ මෙන්  සදාචාරාත්මක ලෙස ධර්මිෂ්ඨ ලෙස , තමා පාලනය කර ගනිමින් යහපත් චරිතයක් ඇතුව සිටීමට මිස සත්ව ආශාවන්ට පමණක් වහලෙකු වීමට නොවේ.

අප සත්වයන්ට වඩා උගත් වූවත් බුද්ධිමත් වූවත් ඒවායින් අප සත්වයන්ට වඩා හොඳ තත්වයකට ගෙන එන්නේ නැත . උගත් බුද්ධිමත් අයවලූන් පවා කෑදරකමට, ආත්මාර්ථකාමීත්වයට, වැරදි ලිංගික තෘෂ්ණාවන්ට, කෝපයට යනාදී දේවලට වහලූන්ව සිටිති.

අපගේ මනසට වඩා ගැඹුරින් පිහිටි කොටසක් ඇත . එය නම් දෙවියන්වහන්සේ ගැන අවබෝධය ගෙන දෙන ආත්මයයි. සතුන්ට මෙම ආත්මය නැත .

කළින් සඳහන් පරිදි, දෙවියන්වහන්සේ අපව මවා තිඛෙන්නේ කැමති දේ තෝරා ගැනීමේ බලය ඇති සදාචාරාත්මක අයවලූන් ලෙසය. කැමති දේ තෝරා ගැනීමේ බලය තිබීම භයානක වන්නේ එය අපව සතුටු කරන දේ කිරීමට භාවිතා කරමින් දෙවියන්වහන්සේගේ වචනයට පිටුපා යෑමෙන්‍ය. නමුත් දෙවියන්වහන්සේ මෙම අවදානම ගැනීමට කැමති වූ සේක . මන්ද උන්වහන්සේට අවශ්‍ය වූයේ ඔවුන් උන්වහන්සේව කැමැත්තෙන්ම තෝරා ගැනීමටය. මේ ලෝකයේ තිඛෙන සියළු වියවුල්, රෝග සහ නපුර, මනුෂ්‍යා දෙවියන්වහන්සේට අකීකරුවී යක‍ෂයාට ඇහුම්කම් දීමේ ඝෘජු ප්‍රථීපලයක් වශයෙන් ඇති වූ ඒවාය.

දෙවියන්වහන්සේ විසින් මවන ලද මුල් පුරුෂයා සහ ස්ත්‍රිය ආදම් සහ ඒව යනුවෙන් හඳුන්වන ලදී. මැවීමේ මුල් අවධියේදී මනුෂ්‍යයා නිර්මලව සිටියේය. ඔවුන්ට ශුද්ධව සිටීමට ඔවුන් විසින්ම තෝරා ගත යුතුව තිබුණි. ඔවුන්ට තෝරා ගැනීමක් කරණ පිණිස , පරික‍ෂාවට ලක්වීම සිදුවිය යුතුව තිබුණි. පරීක‍ෂාවට මුහුණ දීම තුලින් ඔවුන්ට නපුර ප්‍රතිප කර ඒ වෙනුවට දෙවියන්වහන්සේ තෝරාගැනීම හැකිවන්නේය. එම නිසා, මනුෂ්‍යයා පරික‍ෂාවට ලක් කිරීමට දෙවියන්වහන්සේ සාතන්ට ඉඩ දුන්සේක . මේ සම්බන්ධව අප බයිබලයේ පලමුවෙනි පොතවූ උප්පත්ති 2 වන සහ 3 වන පරිච්ඡේද වල කියවමුව.

නිර්මලභාවයත්, ශුද්ධකමත් අතර විශාල වෙනසක් ඇත . නිර්මලභාවය අප ළදරුවෙකු තුල දකින ලක‍ෂණයකි. ආදම් මවනු ලැබූ අවස්ථාවෙදී කුමන ස්වභාවයකින්් සිටියාද යනු දැකිය හැක්කේ, නිර්මල ස්වභාවයකින් යුක්ත වූ යහපත සහ අයහපත ගැන නොදැන සිටි ළදරුවෙකු දෙස බැලීමෙන්‍ය. නමුත් මේ කුඩා ළදරුවා ශුද්ධකමින් හෝ පරිපූර්ණත්වයෙන් යුක්ත නොවේ.

පරිපූර්ණත්වයට සහ ශුද්ධකමට පැමිණීමට ළදරුවා වැඩී, නපුර ප්‍රතික්‍ෂේප කොට දෙවියන්වහන්සේ තෝරා ගැනීම පිණිස තීරණ ගැනීමක් කල යුතු අවස්ථාවට පැමිණිය යුතුය.

පරික‍ෂාවට හසුවීම, හදවතින් ප්‍රතික්‍ෂේප කරන විට අපගේ චරිතය වර්ධනය කර ගනිමු. අද ඔබ සිටින තත්වයේ එලෙස සිටින්නේ මෙතෙක් ඔබගේ ජීවිතය සම්බන්ධයෙන් ගත් තීරණ නිසාය. අනික් අය ඔබට වඩා ඉදිරියෙන් සිටින්නේ ඔවුන් ඔබට වඩා ඔවුන්ගේ ජීවිතය සම්බන්ධයෙන් යහපත් තීරණ ගත් නිසාය. අප දිනපතාම තීරණ ගතිමුව. අප කොයි වාගේ අය බවට පත්වෙනවාද කියන දේ තීරණය කරන්නේ මෙම තීරණ ගැනීමේදීය.

දෙවියන්වහන්සේ පලමුවෙනි මනුෂ්‍යා සහ ස්ත්‍රිය මැවූ අවස්ථාවේදී උන්වහන්සේ  ශුද්ධකම රැක ඔවුන්ව සාතන් විසින් පරික‍ෂා කරනු ලැබීමට ඉඩදීමෙන් ඔවුන්ට ගැනීමට අවස්ථාව දුන්සේක . උන්වහන්සේ ඔවුන්ව උයනේ තබමින් එක් ගසක් ඇරෙන්නට අනිකුත් සියලූම ගස්වල ඵල කෑමට හැකි බව ප්‍රකාශ කල සේක .

මෙම පරික‍්‍ෂණය පහසු එකක් වුනි. මන්ද ඔවුන්ව උයනට යවනු ලැබුවේ එක ගසක ඵල ඇරෙන්නට අනෙකුත් සියලූම ගස්වල රසබර ඵල අනුභව කිරීමට අවසර ඇතිවය. නමුත් මෙම සරල කීකරු වීමේ පරික‍ෂණයෙන් ඔවුන් අසමත් වූහ .

සාතන් උයනට පැමිණ , ආදම් සහ ඒව පරික‍්‍ෂාවට ලක්කරමින් තහනම් කරණ ලද ගසේ ගෙඩි කෑමෙන් ඔවුන් දෙවියන්වහන්සේට සමාන වන බව පැවසීය. ආදම් සහ ඒව එම අවස්ථාවට මුහුණ දුන් පරීක‍්‍ෂාව, ගසකින් ගෙඩියක් කෑමේ සරල දෙයක් පමණක් නොව, නමුත් ඔවුන්ට අවශ්‍ය නම්, දෙවියන්වහන්සේ හා සමාන වීමටය.

මීට පෙර, සාතන්ට මෙවැනි තත්වයකට ඒමට අවශ්‍යව තිබුණි. ආදම්ට සහ ඒවට එලෙස වන්නට හැකි බව සාතන් ඔවුන්ට හඟවන ලදී. නමුත් සාතන් ඔවුන්ට පැවසුවේ බොරුවකි. අදත් සාතන්ගේ බොරුවලට මනුෂ්‍යයන් හසුවී රැවටීමට ලක්වෙති. එදා ආදම් සහ ඒව පාපයට වැටුණෝය. ඔවුන් දෙවියන්වහන්සේට අකීකරු වී සාතන්ට අත්වුණාවූ ඉරණමට ඔවුන්ද ලක්වුනි. ඔවුන් දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් පහ කරණ ලදී. මේ සම්බන්ධ සියලූ විස්තර බයිබලයේ මුල් පොතේ සඳහන් වේ. (උප්පත්ති 3 වන පරිච්ඡේදය) දෙවියන්වහන්සේගේ වචනයට අකීකරු වීමෙන් තමන්ට දෙවියන්වහන්සේ මෙන් සර්වබළධාරී සහ නිදහස් කම හිමිවේ යැයි ආදම් සහ ඒව සිතූහ . නමුත් ඔවුන් නිදහස් වූවාද? නැත . ඔවුන් සාතන්ගේ වහලූන් බවට පත් වූහ . අපට සැබෑ නිදහස් කම ලැඛෙන්නේ දෙවියන්වහන්සේගේ අණට කීකරු වීම තුලින්‍ය. සාතන් මෙලෙස බොහෝ අය රැවටීමට හසු කරයි. සාතන් පවසන්නේ, ඔවුන් සැබෑ ලෙස ජීවිතයේ ප්‍රීතිය භූක්ති විඳීමට නම්, දෙවියන්වහන්සේගේ අණපනත් නොසලකා හැරිය යුතු බවයි.

මනුෂ්‍ය සංහතිය තුල පාපය ආරම්භ වූ අයුරු අප දැන් අවධාරනය කර සිටිමු. ආදම් සහ ඒව එදින ඒදන් උයනේදී ඉතා බරපතල තීරණයකට එළඹුණෝය. මේ තුලින් ඔවුන්ගේ සහ ඔවුන්ගේ දරුවන්ගේ ජිවිත කාලය තුලම බලපෑ ප්‍රතිඵල ඇතිවිය.

අපගේ ජීවිතයේ ගත්තාවූ සෑම තීරණයක් තුලින් ප්‍රතිඵල හටගන්නේය. අප වපුරන්නාවූ දේ කපා ගන්නෙමු.

බොහෝ අවස්ථාවලදී අප වපුරන්නාවූ දේ නිසා අපගේ දරුවන් තික්ත ඵල නෙලාගන්නෝය. ආදම් සම්බන්ධයෙන් ඔහුත් ඔහුගේ භාර්‍යාවත් ඔවුන්ගේ මුළු ජීවිත කාලයටම දෙවියන්වහන්සේගේ අභිමුඛයෙන් නෙරපන ලදී.

අප අද ගන්නාවූ කුඩා තීරණ වැදගත් නොවන බවත් අද අප වපුරන දෙයින් අනාගතයේදී අස්වැන්නක් කපා නොගන්නා බවත් අප නොසිතිය යුතුය.

දෙවියන්වහන්සේ අපව නොයෙකුත් අය සහ සිද්ධීන් තුලින් සෝදිසිකිරීමට සහ පරික‍ෂාවට ලක්වීමට ඉඩහරින්නේ, අප මේ පොලොවේ තිඛෙන සියලූ දේට වඩා උන්වහන්සේව අපට සැබෑ ලෙස අවශ්‍ය බව උන්වහන්සේට ඔප්පු කර දැක්වීමටය.

අප ලක්වන්නාවූ සෑම පරික‍ෂාවක් තුලින් අරමුණු කරන්නේ මෙයයි. මවනු ලැබූ දේට වඩා මැවුම්කාරයාණන් අපට වටිනා බව අප තේරුම් ගෙන ක්‍රියා කරණ වා දැයි ඔප්පු කිරීමටයි.

සියළු පාපයේ සැබෑ හරය වන්නේ, දෙවියන්වහන්සේට වඩා, මවනු ලැබූ දේ සහ අපව ඉහලින් තබා ගැනීමටයි. එය දෙවියන් වහන්සේගේ මාර්ගය වෙනුවට අපගේ මාර්ග තෝරා ගැනීමයි. තවද එය දෙවියන්වහන්සේ සතුටු කරනවා වෙනුවට අපව සතුටු කර ගැනීමයි.

පාපය යනු කාමමිත්‍යාචාරය කිරීමවත්, මිනී මැරීමවත්, සොරකම් කිරීමවත් පමණක් නොව, පාපය නම් අපගේම මාර්ග අනුව ගමන් කිරීමට ඇති උවමනාවයි.

පාපය ආරම්භ වීම අප කුඩා දරුවෙකුගේ මුරණ්ඩු කම තුලින් දකිමු. උප්පත්තියේ සිට දරුවෙකුගේ ස්වභාවය තුල පාපය පිළිසිඳ තිබේ. දරුවා වැෙඩන අතර තමාගේ උවමනාව හැටියට දේවල් කිරීමට පෙළඹෙන්නේය. අනික් දරුවන්ගේ දේ උදුරාගැනීමෙන් සහ රණ්ඩු වීමෙන් තමාට උවමනා දේ ලබා ගැනීමට ක්‍රියා කරයි.

අප පුරුෂත්වයට වැෙඩන අතරේදී, දරුවෙකුව සිටියදී තිබූ ස්වභාවය අප තුල වැඩි වෙනසක් වන්නේ නැත . අප දැනුවත් කමින් වැඩිවී අපගේ ක්‍රියා පටිපාටිය අප වෙනස් කරගන්නවා පමණක්‍ය. යහපත් පරිසරයක හැදුනු වැඩුනු අය තුල පවා මෙම තත්වය පවතී. ඔවුන්ගේ ඇතුලත ඇති ආත්මාර්ථකාමීත්වය, ගිජුකම, සහ නොමනා ආශාවන් පිටස්තරයෙන් පෙන්වන කරුණාභර ස්වභාවයෙන් හෝ ආගමික ලැදියාවෙන් වසා ගන්නෝය.

පාපය අපගේ ජීවිතයේ සෑම කොටසකටම ගලා ගොස් ඇත . ආගමික වතාවක් වූ යාච්ඤා තුලින්, වන්දනාවන් තුලින් සහ තමාව පාලනය කරගැනිමෙන් පාපය ඉවත්කර ගැනීමට නොහැකිය. පාපයෙන් අපව නිදහස් කරන්ට පුළුවන් දෙවියන්වහන්සේට පමණය. නමුත් පාපයේ දරුණුකම අප හැඳිනගන්නාතෙක් දෙවියන්වහන්සේට බලා සිටීමට සිදුවන්නේය. යේසුස්වහන්සේ ආවේ පාපිෂ්ඨයන් කැඳවීමට මිස ධර්මිෂ්ඨයන් කැඳවීමට නොවන බව උන්වහන්සේ වරක් පැවසූ සේක . මින් අදහස් කරන්නේ මිහිපිට සිටින කොටසක් ධර්මිෂ්ඨයන් බවත් අනික් කොටස අධර්මිෂ්ඨයන් බවත් නොව, උන්වහන්සේ මේ දේ ප්‍රකාශ කලේ තමන් ශුද්ධයයි සැලකූ තම ධර්මිෂ්ඨකමින් පූර්ණ වූ සමහර ආගමික පිරිස් වලටය.

යේසුස් වහන්සේ මෙයින් අදහස් කලේ තමන් ධර්මිෂ්ඨයන් ලෙස අදහස්කරගෙන සිටි අයව උන්වහන්සේට ගලවන්නට නොහැකි බවය.

තමන් රෝගී බව හඳුනා ගෙන සිටින අය පමණය දොස්තර වෙතට යන්නේ. එම නිසා පළවන අවශ්‍යතාවය වන්නේ අප පව්කරුවන් බව හඳුනා ගෙන සිටීමය.

කුමණ ආගමකට අප අයත්ව සිටියත් අප සියලූ දෙනා පව්කරුවෝය. අප සිතුවිලි වලින්, ක්‍රියාවෙන්, ආකල්ප වලින්, අරමුණුවලින් දෙවියන්වහන්සේගේ ශුද්ධ ව්‍යවස්ථාවට විරුද්ධව පව් කර ඇත . දෙවියන්වහ්සේගේ තත්වයෙන් අප හීන වී ඇත . රෝගය අපගේ ශරීරයට හානිදායක වීමට වඩා පාපය අපගේ ආත්මයට හානිදායකවේ. අප මෙම කාරණය හඳුනාගෙන තිබේද?

ලොව පුරා ලිංගාශ්‍රිතව පැතිරෙන භයානක වූ ඒඩ්ස් රෝගය ගැන ඔබගේ ප්‍රතිචාරය කුමක්ද? මෙය කොයිතරම් දරුණු ලෙස පැතිරෙනවාද යත් ඒඩ්ස් රෝගියෙකු ලඟට යෑමටවත් මිනිසුන් බිය වෙති. පාපය මීට වඩා භයානක තත්වයක පවතී. වෙනස වන්නේ පාපයෙන් හානිය සිදුවන්නේ අපගේ ආත්මයට නිසාය. එම නිසා මෙය පිටතින් දැකිය නොහැකිය. පාපයේ ප්‍රතික්‍රියාව ඒඩ්ස් රෝගයට වඩා බලවත් ලෙස දරුණුය. අප එයින් ගැලවුණේ නැත්නම්, පාපය අපගේ ජීවිතය විනාශයට පත්කර, ලෝකයේද අපව අසතුටට පත්කර අවසානයේදී අපව සදාකාලිකව විනාශයට පත්කරයි.