Luke 18:31
“උන්වහන්සේ දොළොස්දෙනා තමන් ළඟට කැඳවා ඔවුන්ට කියනසේක්: බලව, අපි යෙරුසලමට යමුව, මනුෂ්‍ය පුත්‍රයා ගැන අනාගතවක්තෘවරුන් විසින් ලියා තිබෙන සියල්ල සම්පූර්ණවන්නේය.”
Daily Devotionals
NEW MERCIES

දෙවියන්වහන්සේගේ අතිශය වැදගත් අරමුණ

අගෝස්තු 3, 2026මිනිත්තු 2ක කියවීමක්

යේසුස්වහන්සේගේ ජීවිතේදී යෙරුසලම කියන්නේ උන්වහන්සේ තමන්ගේ පියාණන්ගේ කැමැත්ත ඉෂ්ට කරපු තැනයි. “මම සොයන්නේ මගේම කැමැත්ත නෙමෙයි, මාව එව්ව පියාණන්ගේ කැමැත්තයි” කියලා යේසුස්වහන්සේ කිව්වා (යොහන් 5:30). “පියාණන්ගේ කැමැත්ත” ඉෂ්ට කරන එක තමයි උන්වහන්සේගේ ජීවිතේ හැම වෙලාවෙම තිබුණු ලොකුම අවධානය. මග දිගේ උන්වහන්සේට ප්‍රීතියක් හරි ශෝකයක් හරි, ජයග්‍රහණයක් හරි අසාර්ථක වීමක් හරි හමුවුණත්, ඒ අරමුණෙන් උන්වහන්සේ කවදාවත් හැරුණේ නැහැ. “උන්වහන්සේ ස්ථිරවම තමන්ගේ මුහුණ යෙරුසලමට යන්නට යොමු කළ සේක…” (ලූක් 9:51).

අපි මතක තියාගන්න ඕනේ ලොකුම දේ තමයි, අපි යෙරුසලමට යන්නේ අපේ අරමුණ ඉෂ්ට කරගන්න නෙමෙයි, දෙවියන්වහන්සේගේ අරමුණ ඉෂ්ට කරන්න කියලා. සාමාන්‍ය ජීවිතේදී අපේ ඉලක්ක අපේමයි. හැබැයි කිතුනු ජීවිතේදී අපේම ඉලක්ක කියලා දෙයක් නැහැ. අද අපි ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් ගන්න තීරණ ගැන, කිතුනුවෙක් වෙන්න තියෙන අපේ අධිෂ්ඨානය ගැන, මේක කරන්නත් ඒක කරන්නත් ගන්න තීරණ ගැන ගොඩක් කතා කරනවා නේ. ඒත් අළුත් ගිවිසුමේ හෙළිවෙන්නේ දෙවියන්වහන්සේගේ බලවත් අරමුණ තමයි. “නුඹලා මා තෝරාගත්තේ නැත, මම නුඹලා තෝරාගත්තෙමි…” (යොහන් 15:16).

අපි දෙවියන්වහන්සේගේ අරමුණත් එක්ක දැනුවත්ව එකඟතාවයකට එන්නේ නැහැ. අපිව දෙවියන්වහන්සේගේ අරමුණට ඇදගෙන යන්නේ ඒ ගැන අපිට කිසිම දැනීමක් නැතිවමයි. දෙවියන්වහන්සේගේ ඉලක්කය මොකක්ද කියලා අපිට හරිහැටි අදහසක් නැහැ. අපි ඉස්සරහට යනකොටත් උන්වහන්සේගේ අරමුණ තව තවත් අපැහැදිලි වෙනවා වගේ දැනෙන්න පුළුවන්. උන්වහන්සේ යොමු වෙලා තියෙන ඉලක්කය දකින්න අපිට බැරි තරම් අපේ දර්ශනය සීමිත නිසා, දෙවියන්වහන්සේගේ ඉලක්කය වැරදිලා වගේ පේන්න පුළුවන්. කිතුනු ජීවිතේ මුලදී දෙවියන්වහන්සේගේ අරමුණ ගැන අපිට අපේම අදහස් තියෙනවා. “දෙවියන්වහන්සේ මට එහෙ යන්න කියනවා” කියලත්, “මේ විශේෂ වැඩේ කරන්න මාව කැඳවලා තියෙනවා” කියලත් අපි හිතනවා. අපි හරි කියලා හිතන දේවල් අපි කරනවා, ඒත් දෙවියන්වහන්සේගේ බලවත් අරමුණ අපේ උඩ ඉඳගෙනම තියෙනවා. දෙවියන්වහන්සේගේ අරමුණත් එක්ක සසඳද්දී අපි කරන වැඩවල වටිනාකමක් නැති තරම්. ඒක උන්වහන්සේගේ වැඩේටත් සැලැස්මටත් වටේ තියෙන තාවකාලික වේදිකාවක් වගේ විතරයි. “උන්වහන්සේ දොළොස් දෙනා පසෙකට කැඳවා…” (ලූක් 18:31). දෙවියන්වහන්සේ අපවත් නිතරම පසෙකට කැඳවනවා. දෙවියන්වහන්සේගේ බලවත් අරමුණ ගැන තවම අපිට ඉගෙනගන්න ගොඩක් දේවල් තියෙනවා.

ගීතාවලිය 63-65; රෝම 6


ඕස්වල්ඩ්ගෙන් ලැබෙන ප්‍රඥාව

අපේ ඔළුවේ තියෙන ප්‍රශ්නවලට උත්තර ලැබුණා කියලා නෙමෙයි, කැපවීමෙන් තමයි අපි දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුල් වෙන්නේ.
උත්තරීතර යහපත—ඔබගේ මහා මිදීම

—