පරිච්ඡේදය 8
මූලික සත්‍යතා • නව ක්‍රිස්තියානීන්

සදාකාලය පිළිබඳ සැබෑ සත්‍යය

සැප්තැම්බර් 15, 2026මිනිත්තු 4ක කියවීමක්

දෙවියන්වහන්සේගේ් දරුවෙක් බවට පත්වූ කෙනෙකුට කාලයේ දේවල් වලට වඩා සදාකාලික දේවල් වඩා වටින්නේය. හෙතෙමට පොළොවේ තිඛෙන වටිනාකම් වලට වඩා ස්වර්ගික වටිනාකම් වඩා වැදගත්ය. වර්‍ෂ 2000 කට ප්‍රථම ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් නැගිට ස්වර්ගයට වැඩම කිරීමට පෙර මෙම පොළොවට නැවත එන බව පොරොන්දු වූ සේක . මෙය .. ක්‍රිස්තුස් වහන්සේගේ දෙවෙනි පැමිණීම.. ලෙස හැඳින්වේ. ලෝක ඉතිහාසයේ සිදුවීමට තිඛෙන ඊලඟ ශ්‍රේෂ්ඨ සිදුවීම මෙය වේ.

ක්‍රිස්තුස්වහන්සේ නැවත පොළොවට එන අවස්ථාවේදී තමන්ගේ ජීවිත ගැන ගණන් දීමක් දෙවියන්වහන්සේ ඉදිරියේ දියයුතු බව සෑම දෙවියන්වහන්සේගේ දරුවෙක්ම දැන සිටී. සදාකාල ජීවිතය දක්වා යන ගමනේදී, මේ ලෝකයේ ජීවිතය අප පසුකර යන්නාවූ වකවානුවක් පමණක් වේ. මෙහි අප පරිවාස කාලයක් ගත කරමු. මෙම කාලයේ ජීවිතයේ වන සිදුවීම් තුලින් අප තෝරාගන්නේ මේ ලෝකයේ ඇති තාවකාලික දේවල්ද නැත්නම් ස්වර්ගයේ සදාකාලික දේවල්ද යනු සම්බන්ධව දෙවියන්වහන්සේ සියලූ දෙනා සෝදිසි කරණ සේක . අප ප්‍රඥාවන්ත නම් අප තෝරාගන්නේ සදාකාලික වටිනා කම් ඇති දේවල්‍ය.

කුඩා දරුවෙකු රුපියල් 500ක නෝට්ටුවකට වඩා දිලිසෙන වර්ණවත් කොලයකට ආසා කරන්නේ වටිනාකමක් ඇති දේ තෝරා ගැනීමට තේරුමක් නැති නිසාය. අප ස්වර්ගීක සදාකාලික දේට වඩා පොළොවේ දේට වඩා කැමැත්තක් දක්වනවා නම් අපද එම දරුවා මෙන් හැසිරෙමු.

ලෝකය සහ එහි ඇති සියළු දේත් පහව යන බව දෙවියන්වහන්සේ බයිබලයේ පැහැදිලි ලෙස පවසා තිබේ. පොළොවේ ඇති තාවකාලික දේ මුල්කරගෙන ජීවත්වීම, බංකොලොත් වන්නට යන බැංකුවක මුදල් තැන්පත් කරනවා හා සමානය. ප්‍රඥාවන්ත පුද්ගලයෙක් තමාගේ මුදල් ආයෝජනය කරන්නේ ස්ථාවරව පවතින බැංකුවක පමණය. ඒ හා සමානවම ප්‍රඥාවන්ත අය ජීවත් වන්නේ සදාකාලික වටිනාකමක් ඇති දේ මුල් කරගෙනය. අපගේ චරිතයට සම්බන්ධ මෙම දේවල් නම් ශුද්ධකම, ප්‍රේමය, සමාව දීම, යටහත් කම යනාදියයි. මෙම පොළොව හැර යන අතර අපට ගෙනියන්ට පුළුවන් දේ මේවා පමණි. තමුන්ගේ පාපය ගැන පසුතැවිලි නොවී මරණයට පත්වන්නාවූ සියලූ දෙනාගේ කෙළවර අති භයානක බව බයිබලය අපට පවසයි.

..තවද එක වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිඛෙන්නාක් මෙන්ම…….. (හෙබ්‍රෙව් 9 27) කෙනෙක් මැරුණු පසු ඔහුට වෙනස්වීමට අවස්ථාවක් නැත . එවැනි කෙනෙකු දෙවියන්වහන්සේට වෙනස් කරන්ටත් බැරිය. මන්ද දෙවියන්වහන්සේ මනුෂ්‍යයාගේ කැමැත්තට විරුද්ධව එම තැනැත්තා වෙනස් කිරීම නොකරණ සේක . මේ පොළොවේදී අප වෙනස් කිරීමට කැමැත්ත දක්වනවා නම් පමණක් දෙවියන්වහන්සේට අප වෙනස් කල හැකිය.

අනාගතයේදී එක් දිනයක මේ පොළොවේ ජීවත් වුණු සෑම කෙනෙක්ම මරණයෙන් නැගිටුවණු ලැබ තමාගේ ජීවිතය ගැන දෙවියන්වහන්සේට ගණන් දීමක් කරණු ලබන්නේය.

නැවත නැගිටීම් දෙකක් ගැන බයිබලය පවසයි. දූවිලි බවට පත්වූ මැරුණාවූ ශරීර දෙවියන් වහන්සේගේ ආශ්චය්‍ය_මත් බලයෙන් නැවතත් ශාරීරිකව නැගිටුවනවා ඇත . පළවෙනි නැවත නැගිටීම ධර්මිෂ්ඨයන්ට පමණක් සීමා වේ. මේ අය පොළොවේ සිටියදී ක්‍රිස්තුස්වහන්සේ වෙත හැරී ඔවුන්ගේ පාපයට සමාව ලබාගෙන දෙවියන්වහන්සේගේ දරුවන් බවට පත්වූ අයවලූන් වේ.

දෙවෙනි නැවත නැගිටීම අදාල වන්නේ තමන්ගේ ගැලවුම්කරු සහ ස්වාමීන් ලෙස ක්‍රිස්තුස්වහන්සේ පිළිනොගත්, තමන්ගේ පාපවලට සමාව නොලබා මියගිය අයවලූන්ටය.

කෙනෙකු තමාගේ පාපය ගැන පසුතැවිලි නොවී, පව්කමාව පිණිස ක්‍රිස්තුස් වහන්සේ කෙරෙහි විශ්වාසය නොතබා මියගිය හොත්, හෙතෙම එක් දවසකදී ඔහුගේ මුළු ජීවිතයම විමර්‍ෂණයට ලක්කරන දෙවියන්වහන්සේගේ විනිශ්චයාසනය ඉදිරියේ විනිශ්චය කරනු ලබන්නේය. එවිට හෙතෙම තමාගේ පාපයට සදාකාලික විනිශ්චයක් ලැබීමට යෝග්‍ය කෙනෙක් බව මුළු විශ්වය ඉදිරියේ ඔප්පු කර පෙන්වනු ලැබේ. ඉන්පසු හෙතෙම සදාකාලයටම ගිණිවිලට හෙලනු ලබන්නේය.

එය අවසානයක් නැති දඬුවමක් වනු ඇත . ක්‍රිස්තුස් වහන්සේ ප්‍රතික්‍ෂේප කර සදාකාලයටම මුහුණ දීමට යන්නාවූ සියලූ දෙනාගේ භයානක අනාගතය මෙය වන්නේය.

මුළු විශ්වයේම නපුර ආරම්භ කළා වූ, මනුෂ්‍යයන් පාපයට පෙළඹවීමට ප්‍රධාන හේතුව වූ සාතන්, පළමුකොට ගිණි විලට හෙලනු ලබන්නේය. අනික් අතට, යටහත් වී, තමන්ගේ පාපය පිළිගෙන ඒවා කියාදී ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය පිට මරණය තුලින් ප්‍රදානය කරණු ලබන පව්කමාව පිලිගත් අය ස්වර්ගයේ ප්‍රීතියට ඇතුලත් වන්නෝය. එහිදී ඔවුන් දෙවියන්වහන්සේත්, යේසුස් ක්‍රිස්තුස්වහන්සේත් සමග සදාකාලයට වාසය කරන්නෝය. ස්වර්ගය ශුද්ධකම, සමාදානය සහ ප්‍රීතිය ඇති ස්ථානයක්‍ය. එහිදී දේවදූතයන්ද මනුෂ්‍යය වර්ගයා අතරින් තමන්ගේ පාපයෙන් ගැලවීම ලත් සියලූ දෙනාද, සදාකාලයටම දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් සහ නමස්කාර කරමින්, නොයෙකුත් අන්දමින් උන්වහන්සේට සේවය කරන්නෝය.

අපට පෙර මෙලොවින් ගියාවූ අපගේ ප්‍රේමවන්ත අය, ගැලවීම පිණිස ක්‍රිස්තුස්වහන්සේව පිළිගෙන , දෙවියන්වහන්සේගේ දරුවන් ලෙස මිය ගියා නම්, ඔවුන් සමග නැවත ඉමහත් ප්‍රීතියෙන් එකතුවන්නා වූ ස්ථානයක් ද වන්නේය.

දෙවියන්වහන්සේගේ සැබෑ දරුවන්, දෙවියන්වහන්සේ සමග සදාකාලය ගත කිරීමේ මෙම මහිමාන්විත දවස , මහත් ආශාවෙන් බලා සිටින්නෝය.

• දැන් ඔබ සැබෑ සත්‍ය දැනගත් කෙනෙකු වශයෙන් ඔබගේ ප්‍රතිචාරය කුමක් වන්නේද?

• යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අමතමින් ඔබගේ පාපයට සමාව දෙන ලෙසත්, ඔබව දෙවියන්වහන්සේගේ දරුවෙක් කරගන්නා ලෙසත් අයදිමින් යාච්ඤා කලාද?

• මෙම යාච්ඤාව කිරීමට අවස්ථාව දැන්ය. මන්ද දෙවියන්වහන්සේ ඔබගේ හදවතට කථා කරන අවස්ථාව දැන්ය.

• අප මරණයට පත්වී මෙලොවින් වෙන්ව යන අවස්ථාව කිසිවෙකුටත් කිවනොහැකිය.

• ඉදිරියේ එක් දවසක්, මේ පොළොවේ අපගේ අන්තීම දවස වනු ඇත .

• ඒ දිනය පැමිණීමට කලින් ඔබගේ පාපයට සමාව ලබාගත් බවත් දෙවියන්වහන්සේ මුණ ගැසීමට සූදානම් බවත් සහතික කර ගන්න .